Pages

Powered by Blogger.

ලේබල්.....


වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬන
ඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමක
සොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපන
යුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..


අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණ
බිය සැක ඇතිව ගෙවුනා දින සති මාස
මව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමින
පැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..


මව බොදු කතකි කතෝළිකය පියා
සිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදා
වෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදා
පන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..


කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළු
තල් අරණට ඉහළින් සඳරැස් මුකුළු
සුවදෙන සෙනෙහෙ මිහිරෙන් හදවත් පිබිදූ
කාලය ගෙවී දිනයක් ඇවිදින් නොසිතූ..


ත්‍රස්ත මරුන් ගම් වැදිලා හොර රහසේ
දැන් ඇහෙනවා ළඟ ළඟ එන වෙඩි සද්දේ
මව හඬ හඬා පොඩි පුතු ඇකයට ගත්තේ
පියතුම කිව් පරිදි ලන්දට ගොස් සැඟවූයේ..


ඈ ගත රුහිරු පෙරදා කිරි කර සෙනෙහෙන්
පොවමින් දැඩි කළා පුතු ආදර සයුර තරම්
එයටම නොදෙවනිය පියතුමගේ වරුණ නිතින්
සඟවාලූවේ මරුගෙන් පුතු ගලවාගනු අටියෙන්..


අළුයම පහන් වී පසුදින හිරු නැගෙන පැයේ
ලේ විල් රක්ත පැහැයෙන් ඇත ගම් පියසේ
මව හා පියා වෙඩි වැද ඇත මැදසාලේ
පුතු තනිවෙලා කෙළෙසෙද දුක පවසන්නේ..


රණවිරු කැළම ඇවිදින් එඩියෙන් පියඹා
ත්‍රස්ත මරුන් වනසයි දිවියද නොතකා
සෙබළුන් ලන්ද අවටින් යනවිට කළඹා
ඉකිගසා හඬන පුතුගේ කඳුළැලි දුටුවා..


දෝතට රැගෙන මල් වැනි මේ පුන්චි පුතා
සෙබළ කතක් දිවගියා රතුකුරුසෙ කරා
එහිදී රජයේ නීතිය හොඳහැටි විමසා
දරුනැති දෙමළ මවකට පුතු භාරකලා..
                 
                  ඉහත දැක්වෙනුයේ මෙවැනිම මාතෘකාවක් ඔස්සේ කලකට ඉහතදී මා අතින් ලියැවුණ පැදිපෙලකි. අවසානයේ දමිල කතකගේ රැක්වරණය යටතේ ඇති දැඩි වන එම හය හතර නොදත් දරුවාට සමාජය විසින් ජාති කුල මල වශයෙන් කවර ලේබලයක් දෙනු ඇත්දැයි මට නම් සිතා ගත නොහැක .
                         උදාරතර මනුෂ්‍යත්වය හමුවේ ජාති ආගම් ගෝත්‍ර ආදි සමාජමය බෙදීම් වලට කිසිඳු වටිනාකමක් නොමැත.  
                      හුදෙක් ලේබල් මගින් කෙරෙන පුද්ගල විග්‍රහය , කුඩා කලදීම ආගමික/ගෝත්‍රවාදී සිර මැදිරි වල ලා විලoගු දමමින් සිතෙහි අදාල සoකල්ප ,ඇදහීම් බලෙන් හෝ ආරෝපණය කරන්නට සමාජය විසින් දරන වෑයමෙහි තවත් එක් අතුරුඵලයක් පමණක් යැයි මට සිතේ.
               කෙසේ වුවත් ඉන් පලුදු කෙරෙනුයේ අන් කවරක් වත් නොව විශිෂ්ට දාර්ශණිකයින් බිහි කිරීමට සමත් නිදහස් චින්තනයයි.



පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්න
මලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..
සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්න
සැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක...

මා අකුරු කළ හැටි............

                             
                         මා පෙරපාසල් ගොස් නැත.අම්මාගේ ඇකයේ තුරුළු වී ඈ සමග ඉතා කුඩා වයසේදීම මම ද පාසල් ගියෙමි.පුන්චි මාව ද ආo බාo කරමින් පාසලේ දරුවන්ට අකුරු ඉගැන්වූ අයුරු ඈ අද ද සිහිපත් කොට සිනාසෙමින් මගේ ඔළුව අතගායි.පුන්චි කාලයේ ඇගේ උණුසුමින් වෙන්වී මොහොතකුදු පිට යාමට මා කෑමති වී නැත.

    එක වසරේ සිට පහ වසර දක්වා වූ කාලය මා පාසලේ දීප්තිමත් ම ශිෂ්‍යයකු ලෙස සිප් සතර හැදෑරු අවධියයි.සෑම විටම පන්තියේ අනෙකුත් ලමුන් අභිබවා දක්ෂතා දක්වමින් කැපී පෙනුණු මම ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව බදුල්ල මැදි විදුහලට ඇතුළු වීමි.
        ඉන්පසුව උදාවූයේ මාගේ පාසල් ජීවිතයේ සන්ක්‍රාන්ති සමයකි.ඕනෑම බාහිර කටයුත්තකදි වඩාත් ප්‍රමුඛව ක්‍රියාකළ මම තව දුරටත් පොතපත උගැන්මට ආසා නොකෙළෙමි..ගුරුවරුන්ගේ  විවේචනයට බඳුන් වූ මම තවතවත් දඟකාර වූයෙමි.එක්තරා දිනයක මම පාසලෙන් පැනගොස් බදුල්ල නගරය පුරා ඇවිද්දෙමි.කුඩාකළ හැමදාමත් පන්තියේ පළවෙනියා වූ නිරන්තර ජයග්‍රාහි මම එහිදී 31 වෙනියා වීමි.මෙසේ මා ඇසුරේ පෙළගැසුණු තවත් රසවත් සිදුවීම් හා බදුල්ලේ ගතවුණු මාගේ සුන්දර ළමාකාලය අලලා ලිපියක් බ්ලොගයට පසුව එකතු කරන්නට බළාපොරොත්තු වෙමි.
               මා එතෙක් පාසල් ජීවිතයේ අතිශයින්ම දුක් වුණු  සිදුවීම නම් මාස 7 ක් වැනි කෙටිකලකින්ම බදුලු විදු මාතාවගෙන් සමුගැනීමට සිදුවීමයි. මා හඬ හඬා එයට කෙතරම් විරුද්ධ වුවත් මවුපියන්ගේ තීරණයට අවනත වනවා හැරුණු කොට පුන්චි මට කල හැකි අන්යමක් නොවීය. පාසලෙන් අස්වී යන දිනයේ වචනයකින් හෝ එතෙක්  මා හට කාරුණික නොවූ මිතුරියක් කඳුළු පිරි දෙනෙතින් මා දෙස බලා සිටියුරු තවමත් මසිතේ තැන්පත් වී ඇති ආදරණීය  සිහිවටනයකි. 
                         මාගේ අලුත් පාසල වූයේ  නගරයට මඳක් ඔබ්බෙන් පිහිටි කුඩා  විද්‍යාලයකි. මගේ දඟකාර කම මග හැරවීමට සිතා දෝ තාත්තා හදිසියේම  එම පාසලට ඇතුළු කළද පසුව මා වෙනත් ප්‍රසිද්ධ පාසලකට යොමුකිරීම ඔහුගේ අභිප්‍රාය විය.
             වැව් ඉස්මත්තක පිහිටි මේ අලුත් පාසල ස්භාවිකවම අලoකාර පරිසරයකින් නිමැවී තිබුණි.නමුත් ආරම්භයේදීම මට සිදුවූයේ නුපුරුදු පරිසරයක නුහුරු ළමයින් සමග මාගේ නිදහස් මානසිකත්වය හකුළුවා ලීමටයි.පොදු වේ ඔවුන් ගැටෙන  සිතුම් පැතුම් වල වෙනසත් එයින් මා අත්දකින නීරස කටුක බවත් පාසලේ තිබූ දැඩි විනයත් නිසා මුල් මාස කිහිපයේදි  මේ පාසල මට කිසිසේත්ම ප්‍රියජනක ස්ථානයක් නොවීය. නමුත් මට පාසලෙන් අස්වීමට වුවමනා වූයේද නැත.
           මාස කිහිපයක ඇවෑමෙන් සීමා මායිම් ලෙසින් සිසුඅප සිරකර තැබූ රාමුවටත් , දැඩි විනයටත් අභියෝග කරමින්  දඟකාර දඩබ්බර කොළු ගැටයෙකු ලෙසින් නැවතත් කරළියට පැමිණි මම  ඉගෙනීමට කිසිසේත් ආසා නොකෙළෙමි.මට ම හරියන මිතුරු කැළක් ද ඊට සමගාමීව මා වටා රොක් විය. 
               පාසලේදී වේවැල් පහරින් ,රට හුණු කැබැල්ලෙන් නිරන්තරයෙන් සන්ග්‍රහ ලැබූ මම පෙරළිකාර චරිතයක් වීමි. ඇතැම් ගුරුවරුන් මා අතහැර දැමූ අතර ඇතමුන්ගේ හිසරදයට හේතුවක් වූ මා තවදුරටත් ඔවුන්ගේ ඉළක්කයක්ම විය.ශිෂ්‍යත්වය සමත් එකෙකු හෝ නොමැති පන්තියේ ලමුන් අතරින් වාර විභාග වලදී විසිගණන් වැනියා වන් මට එකළ අරුමයක් නොවීය.
             අහුවුනු පොතක එවෙලේ උගන්වන දේ සටහන් කරගන්නා ,ගෙදරට දෙන පැවරුම් නොකරන ,ඇගයීම මඟ හරින ඒ අපත කොළුවා වූයේ මමයි.නිරන්තරයෙන් විත්තිකරුගේ චරිතය රඟපාන වේවල් පහරේ ගැනුම් කරුවාද මමයි.එකල බෙලිඅත්තේ කොල්ලන් හා රැඳී  රසතියාදු ගසන හාදයාද මමයි .මැර කොල්ලන් හිත මිතුරන් කරගත් මා ඇතැම් ළමුන් අතර නම් එක්තරා වීරයෙකි .යහළුවන් වෙනුවෙන් කළහැකි ඕනෑම කැපවීමකට සූදානම් සහෝදරත්වයෙන් බැඳුනු හිත මිතුරා වූයේද මමයි.
          
              එකළ මා පිළිබඳ  සැබෑ තතු මවුපියන්ට සන්නිවේදනය වීම වැළැක්වීමට මම උපරිමයෙන් ම කටයුතු කළෙමි. ඇතැම් අවස්ථාවලදී අර්බුධකාරී තත්වයන් ඇතිවුවද ඔවුන්ට මාව කවරදාක හෝ පොත පතෙහි සිරකාරයෙක් කිරීමට අවශ්‍ය වූයේ නැත. අතීත ගැමි ලමයෙකුට ලැබෙන උපරිම නිදහසෙහි මම ද හිමිකාරයෙකු වීමි. ඉන් මා ලැබූ ආධ්‍යාත්මික සුවයත්,සෞන්දර්යය ත් මුසු කර ඉදිරියේදි බ්ලොග් ලිපියක් ලිවීමට සිතේ.එහෙත් මට මේ වන තුරුත් කිසිදු ගැහැණු ලමයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් නම් තිබී නැත.
               
                   මට යම් යම් කුසලතාවයන් තිබුනද කිසිදා මම සින්හල භාශා/කථික ආදී කිසිඳු තරඟය කට පාසල් මට්ටමින් සහභාගී වී නැත.එසේම දින දෙක තුනකට වඩා මා දහම්පාසල් ගොස් නැත.නමුත් එසේ නොවූවා කියා මට සිදුවූ අවාසියක් නොමැති බැව් මෑතකදි අම්පාරේ පැවති නායකත්ව පුහුණුව තුලදී සනාථ විය.
      10 වසරේ පටන්ම ගෙදරට ගණිත ගුරුවරයකු ගෙන්වා මා හට ටියුෂන් ලබාදීම සිදුවිය.11 වසරේදී මවගේ බලවත් ඇවිටිල්ල නිසාම මම විද්‍යාව අමතර පන්තියකට ද ගියෙමි.මීට අමතරව සා.පෙළ සඳහා මා ගිය එකම ටියුෂන් පන්තිය යහළුවෙකුගේ ගෙදරට සර් කෙනෙකු පැමිණ කළ වාණිජ්‍ය පන්තියයි.
      බොහෝ දෙනෙකු ලෙහෙසියෙන්ම තරණය කරන සා.පෙළ කඩයිම මා හට නම් දැවැන්ත අභියෝගයක් විය.විභාගයට ඉතා ආසන්න කාලයේදි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරු කිරීමෙන් ලත් අත්දැකීම් ද සහිතව සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන්නෙමි. 
                                                                
ප්‍රථිඵල ලෙසින් ගණිතයට C සාමාර්ථයක් ද විද්‍යාවට B සාමාරථයක් ද සහිතව  මා සා.පෙළ සමත්ව තිබුණි.S සාමාර්ථයක් තිබුනේ ඉන්ග්‍රීසි වලට පමණි.අනෙක් විෂයන් සඳහා ද අච්චාරු ප්‍රථිඵලයක් ලැබී තිබුණි.
       කෙසේ වුවත්  මට නම් එම ප්‍රථිඵලය මහමෙරක් බඳු විය.මම ඉතා උද්‍යෝගයෙන් උසස් පෙළ සඳහා පියමැන්නෙමි.
විජයබා විදුහලේ පලමු උසස් පෙල කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මගේ උසස් පෙළ ජීවිතයද වෙනස්ම එකකි.ඒ  ගැනද කෙටි සටහනක් තැබීමට සිතේ.

මම ජීවිතයේ වැඩිපුරම ආදරය කල විෂය භෞතික විද්‍යාවයි.වෙල් දෙණි වල නට නටා ගත කල අත්දැකීම් වල ප්‍රායෝගික අරුත වටහා දෙන එතරම් සොඳුරු  විෂයක් තවත් නම් ඇත්ද?රසායන විද්‍යාවට ද මම මහත් සේ ඇලුම් කලෙමි. ජීව විද්‍යාව මට අප්‍රියතම විෂයක් වූ අතර එය ප්‍රායෝගිකව සිතීමත් කර්කශ දෙයක්ම විය.

මම නිදි වරා වෙහෙස වූයේ නම් නැත.අච්චු පොත්  ගෙන ඒවා ස්ව‍යo අධ්‍යනය කරමින් සිතිවිලි මෙහෙයවීම සිදු කළෙමි.උසස් පෙළ පළමු අවුරුද්ද පමණක් අප පාසල් ගිය අතර මුල් අවුරුද්ද තුල පැවති සෑම විහාගයකින්ම භෞතික විද්‍යාව සඳහා පාසලෙන්ම වැඩිම ලකුණු ලාභියා වූයේ මම යි.

මා අතින් සිදුවූ බරපතලම වැරැද්ද සාර්ථකත්වය නම් දේදුන්නේ අග්ගිස්සට පැමිණ ඇතැයි සිතමින් සියළු දේ තනිවම අධ්‍යනය කිරීමට සිතා උසස් පෙළ සිද්ධාන්ත පන්ති විෂයන් තුනෙහිම මුල් පාඩම් කිහිපයෙන් අනතුරුව නවත්වා දැමීමයි.

ඉන් පසු වැඩ ගොඩ ගැසුණු අතර මහා අච්චු පොත් ගොඩක් අතර අසරණ වූ මම පළමු වර 2009 විභාගයෙන් හමබන්තොට දිස්ත්‍රික්කයේ 220 වෙනියා වෙමින් දැඩි පසුබෑමකට ලක් වීමි.2009 ඒතිහාසික විභාගයක් වූ අතර මුලු දිවයිනෙන් ම වැඩිම කඩයිම් ලකුණු සලකා බැලූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.අනතුරුව මම ගෙදරද හැර දමා කොලඹ ගියෙමි.කොලඹ නැවතී රිවිෂන් පන්ති ගිය මුත් මාස  5කින් පමණ පසුව මට නැවත ගෙදර එන්නට උවමනා විය.

ඉන් පසු මම ගෙදර සිට කොළඹ පන්ති ගියෙමි.අවසන් මාස කීපයේදි ගුරුවරුන්ගේ රිද්මයට අනුනාද වෙමින් පන්ති වලදී ගත කලද ගෙදරදී එතරම් වෙහෙස නොවි මා බොහෝ විට සිදු කළේ සිදු කලේ නිකන් තිබෙන සිතුවිලි/සිත අදාල විෂයන් කෙරේ මෙහෙයවීමයි.

2010 මෙවර විභාගය සාර්ථකව නිම කළ මම දිස්ත්‍රික්කයේ 6 වෙනියා වූවෙමි.කොලඹ වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් තිබුනද මා තෝරා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි.උසස් පෙළ කාලය තුළද  අතුරු කතා ද රාශියක්ම විය . මේ ලිපිය දීර්ඝ වූවා වැඩිදැයි මට සිතේ.ඉතින් සීතල , සොඳුරු පරිසරයක දිගහැරෙන මගේ අනාගත සරසවි ජීවිතය ද හොඳ යුරක වෙනස්ම එකක් වනු දැකීම මගේ බලාපොරොත්තුවයි..

අලුත් වැස්සක්....


සඳවත සඟවා වෙන නමකින් හිඳ
සුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කර
මුතුකළ ඔය ඔබේ බ්ලොගය පුරා මම
රහසෙම සැරුවෙමි..................
විනිවිද නුඹේ සිත දැනෙන තුරාවට..

සිතිවිලි සයුරේ රුවල මුදාහැර
දේදුණු අහසේ දෑස පියාගෙන
පාවෙන, ඉගිලෙන ලොවට වෙලා මම
දැන්-තව හිනැහෙමි............
ස්වර තත් වයනට තනුව සොයාගෙන..

සෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙන
සඳ දිය ගඟුලේ මුසුකර තනිවම
මිහිඳුම් අහසේ වළා වියන් අග
රඳවා ඉවසමි.............
ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ..

ඔයාගේ හදවතේ ලියපු කවියේ......ලිව්වද.....


තරු පිරි අහසේ සඳ  ඔබ කිව්වම
තරු හිනැහී  ඔච්චම් කල තරහට
අරගෙන හෙමිහිට තරු එක එක මම
ඔය දිගු වරලෙහි ගැසු හැඩ....ලිව්වද


සේපාලිකා මල් අහුරක් අරගෙන
සඳවතුරින් පිණි සිහිල දොවාගෙන
පිණිබිඳු බේරෙන සුවඳැති පෙති මත
සැතපුනු තුරුලේ උණුසුම...... ලිව්වද


ඔය නිල් ඇස් දෙක වහලා අඳුරෙම
උඳුපියලිය කන හාවකු අරගෙන
හැඩ ඔබේ උකුළේ නිදිකර හෙමිහිට
ඇස් දෙක අරින්න කිව්වා.....ලිව්වද

සියක් මoපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයි
අදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයි
පෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයි
තවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි

සඳරු රේඛා මවන සේයා -  නිඳන සිත්විල් කල්ඹවයි
සොඳුරු ඡායා සිහින ඈහා - රඟන රැගුමින් සිතපිරෙයි
රුසිරු මායා ලොවක පායා - නැඟෙන හසරැල් අතවනයි
අඳුර පීරා අරුණ ආවා -  රැයම අවසන් නෙතුඇරෙයි