Pages

Powered by Blogger.
Showing posts with label කාව්‍ය. Show all posts
Showing posts with label කාව්‍ය. Show all posts

ලේබල්.....


වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬන
ඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමක
සොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපන
යුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..


අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණ
බිය සැක ඇතිව ගෙවුනා දින සති මාස
මව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමින
පැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..


මව බොදු කතකි කතෝළිකය පියා
සිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදා
වෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදා
පන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..


කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළු
තල් අරණට ඉහළින් සඳරැස් මුකුළු
සුවදෙන සෙනෙහෙ මිහිරෙන් හදවත් පිබිදූ
කාලය ගෙවී දිනයක් ඇවිදින් නොසිතූ..


ත්‍රස්ත මරුන් ගම් වැදිලා හොර රහසේ
දැන් ඇහෙනවා ළඟ ළඟ එන වෙඩි සද්දේ
මව හඬ හඬා පොඩි පුතු ඇකයට ගත්තේ
පියතුම කිව් පරිදි ලන්දට ගොස් සැඟවූයේ..


ඈ ගත රුහිරු පෙරදා කිරි කර සෙනෙහෙන්
පොවමින් දැඩි කළා පුතු ආදර සයුර තරම්
එයටම නොදෙවනිය පියතුමගේ වරුණ නිතින්
සඟවාලූවේ මරුගෙන් පුතු ගලවාගනු අටියෙන්..


අළුයම පහන් වී පසුදින හිරු නැගෙන පැයේ
ලේ විල් රක්ත පැහැයෙන් ඇත ගම් පියසේ
මව හා පියා වෙඩි වැද ඇත මැදසාලේ
පුතු තනිවෙලා කෙළෙසෙද දුක පවසන්නේ..


රණවිරු කැළම ඇවිදින් එඩියෙන් පියඹා
ත්‍රස්ත මරුන් වනසයි දිවියද නොතකා
සෙබළුන් ලන්ද අවටින් යනවිට කළඹා
ඉකිගසා හඬන පුතුගේ කඳුළැලි දුටුවා..


දෝතට රැගෙන මල් වැනි මේ පුන්චි පුතා
සෙබළ කතක් දිවගියා රතුකුරුසෙ කරා
එහිදී රජයේ නීතිය හොඳහැටි විමසා
දරුනැති දෙමළ මවකට පුතු භාරකලා..
                 
                  ඉහත දැක්වෙනුයේ මෙවැනිම මාතෘකාවක් ඔස්සේ කලකට ඉහතදී මා අතින් ලියැවුණ පැදිපෙලකි. අවසානයේ දමිල කතකගේ රැක්වරණය යටතේ ඇති දැඩි වන එම හය හතර නොදත් දරුවාට සමාජය විසින් ජාති කුල මල වශයෙන් කවර ලේබලයක් දෙනු ඇත්දැයි මට නම් සිතා ගත නොහැක .
                         උදාරතර මනුෂ්‍යත්වය හමුවේ ජාති ආගම් ගෝත්‍ර ආදි සමාජමය බෙදීම් වලට කිසිඳු වටිනාකමක් නොමැත.  
                      හුදෙක් ලේබල් මගින් කෙරෙන පුද්ගල විග්‍රහය , කුඩා කලදීම ආගමික/ගෝත්‍රවාදී සිර මැදිරි වල ලා විලoගු දමමින් සිතෙහි අදාල සoකල්ප ,ඇදහීම් බලෙන් හෝ ආරෝපණය කරන්නට සමාජය විසින් දරන වෑයමෙහි තවත් එක් අතුරුඵලයක් පමණක් යැයි මට සිතේ.
               කෙසේ වුවත් ඉන් පලුදු කෙරෙනුයේ අන් කවරක් වත් නොව විශිෂ්ට දාර්ශණිකයින් බිහි කිරීමට සමත් නිදහස් චින්තනයයි.



අලුත් වැස්සක්....


සඳවත සඟවා වෙන නමකින් හිඳ
සුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කර
මුතුකළ ඔය ඔබේ බ්ලොගය පුරා මම
රහසෙම සැරුවෙමි..................
විනිවිද නුඹේ සිත දැනෙන තුරාවට..

සිතිවිලි සයුරේ රුවල මුදාහැර
දේදුණු අහසේ දෑස පියාගෙන
පාවෙන, ඉගිලෙන ලොවට වෙලා මම
දැන්-තව හිනැහෙමි............
ස්වර තත් වයනට තනුව සොයාගෙන..

සෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙන
සඳ දිය ගඟුලේ මුසුකර තනිවම
මිහිඳුම් අහසේ වළා වියන් අග
රඳවා ඉවසමි.............
ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ..

ඔයාගේ හදවතේ ලියපු කවියේ......ලිව්වද.....


තරු පිරි අහසේ සඳ  ඔබ කිව්වම
තරු හිනැහී  ඔච්චම් කල තරහට
අරගෙන හෙමිහිට තරු එක එක මම
ඔය දිගු වරලෙහි ගැසු හැඩ....ලිව්වද


සේපාලිකා මල් අහුරක් අරගෙන
සඳවතුරින් පිණි සිහිල දොවාගෙන
පිණිබිඳු බේරෙන සුවඳැති පෙති මත
සැතපුනු තුරුලේ උණුසුම...... ලිව්වද


ඔය නිල් ඇස් දෙක වහලා අඳුරෙම
උඳුපියලිය කන හාවකු අරගෙන
හැඩ ඔබේ උකුළේ නිදිකර හෙමිහිට
ඇස් දෙක අරින්න කිව්වා.....ලිව්වද

සියක් මoපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයි
අදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයි
පෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයි
තවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි

සඳරු රේඛා මවන සේයා -  නිඳන සිත්විල් කල්ඹවයි
සොඳුරු ඡායා සිහින ඈහා - රඟන රැගුමින් සිතපිරෙයි
රුසිරු මායා ලොවක පායා - නැඟෙන හසරැල් අතවනයි
අඳුර පීරා අරුණ ආවා -  රැයම අවසන් නෙතුඇරෙයි


මෙතුවක් නොදුටු අනාගත ඇය වෙත..

සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන
නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල
සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන
සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ


හද මල විමන සිරකර රැඳි සුසුම ළඟ
නිල් විල් සිහින පසුකර ඉමි සොඳුර මම
රුව ගුණ වරුණ සිහිකර නිති සුවඳ ඔබ
පර තෙර අහස විනිවිද එමි සසර ඉම

සරණයට නොව තරණයට....











රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක
බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන
රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන
එමි යමි සසර තව බුදුබණ පතාගෙන




මඳමුදු සුළඟ සිහිලස සුව සුවඳගෙන
අරුණළු මිහිරි සුනිමල පිනි පහසලැබ
ලොව්තුරු නිමල මුණිරජ කුටි වෙහෙරවෙත
පියමැන හඟිමි දෙනයන දිටි සසරදුක