Pages

Powered by Blogger.

මා අකුරු කළ හැටි............

                             
                         මා පෙරපාසල් ගොස් නැත.අම්මාගේ ඇකයේ තුරුළු වී ඈ සමග ඉතා කුඩා වයසේදීම මම ද පාසල් ගියෙමි.පුන්චි මාව ද ආo බාo කරමින් පාසලේ දරුවන්ට අකුරු ඉගැන්වූ අයුරු ඈ අද ද සිහිපත් කොට සිනාසෙමින් මගේ ඔළුව අතගායි.පුන්චි කාලයේ ඇගේ උණුසුමින් වෙන්වී මොහොතකුදු පිට යාමට මා කෑමති වී නැත.

    එක වසරේ සිට පහ වසර දක්වා වූ කාලය මා පාසලේ දීප්තිමත් ම ශිෂ්‍යයකු ලෙස සිප් සතර හැදෑරු අවධියයි.සෑම විටම පන්තියේ අනෙකුත් ලමුන් අභිබවා දක්ෂතා දක්වමින් කැපී පෙනුණු මම ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව බදුල්ල මැදි විදුහලට ඇතුළු වීමි.
        ඉන්පසුව උදාවූයේ මාගේ පාසල් ජීවිතයේ සන්ක්‍රාන්ති සමයකි.ඕනෑම බාහිර කටයුත්තකදි වඩාත් ප්‍රමුඛව ක්‍රියාකළ මම තව දුරටත් පොතපත උගැන්මට ආසා නොකෙළෙමි..ගුරුවරුන්ගේ  විවේචනයට බඳුන් වූ මම තවතවත් දඟකාර වූයෙමි.එක්තරා දිනයක මම පාසලෙන් පැනගොස් බදුල්ල නගරය පුරා ඇවිද්දෙමි.කුඩාකළ හැමදාමත් පන්තියේ පළවෙනියා වූ නිරන්තර ජයග්‍රාහි මම එහිදී 31 වෙනියා වීමි.මෙසේ මා ඇසුරේ පෙළගැසුණු තවත් රසවත් සිදුවීම් හා බදුල්ලේ ගතවුණු මාගේ සුන්දර ළමාකාලය අලලා ලිපියක් බ්ලොගයට පසුව එකතු කරන්නට බළාපොරොත්තු වෙමි.
               මා එතෙක් පාසල් ජීවිතයේ අතිශයින්ම දුක් වුණු  සිදුවීම නම් මාස 7 ක් වැනි කෙටිකලකින්ම බදුලු විදු මාතාවගෙන් සමුගැනීමට සිදුවීමයි. මා හඬ හඬා එයට කෙතරම් විරුද්ධ වුවත් මවුපියන්ගේ තීරණයට අවනත වනවා හැරුණු කොට පුන්චි මට කල හැකි අන්යමක් නොවීය. පාසලෙන් අස්වී යන දිනයේ වචනයකින් හෝ එතෙක්  මා හට කාරුණික නොවූ මිතුරියක් කඳුළු පිරි දෙනෙතින් මා දෙස බලා සිටියුරු තවමත් මසිතේ තැන්පත් වී ඇති ආදරණීය  සිහිවටනයකි. 
                         මාගේ අලුත් පාසල වූයේ  නගරයට මඳක් ඔබ්බෙන් පිහිටි කුඩා  විද්‍යාලයකි. මගේ දඟකාර කම මග හැරවීමට සිතා දෝ තාත්තා හදිසියේම  එම පාසලට ඇතුළු කළද පසුව මා වෙනත් ප්‍රසිද්ධ පාසලකට යොමුකිරීම ඔහුගේ අභිප්‍රාය විය.
             වැව් ඉස්මත්තක පිහිටි මේ අලුත් පාසල ස්භාවිකවම අලoකාර පරිසරයකින් නිමැවී තිබුණි.නමුත් ආරම්භයේදීම මට සිදුවූයේ නුපුරුදු පරිසරයක නුහුරු ළමයින් සමග මාගේ නිදහස් මානසිකත්වය හකුළුවා ලීමටයි.පොදු වේ ඔවුන් ගැටෙන  සිතුම් පැතුම් වල වෙනසත් එයින් මා අත්දකින නීරස කටුක බවත් පාසලේ තිබූ දැඩි විනයත් නිසා මුල් මාස කිහිපයේදි  මේ පාසල මට කිසිසේත්ම ප්‍රියජනක ස්ථානයක් නොවීය. නමුත් මට පාසලෙන් අස්වීමට වුවමනා වූයේද නැත.
           මාස කිහිපයක ඇවෑමෙන් සීමා මායිම් ලෙසින් සිසුඅප සිරකර තැබූ රාමුවටත් , දැඩි විනයටත් අභියෝග කරමින්  දඟකාර දඩබ්බර කොළු ගැටයෙකු ලෙසින් නැවතත් කරළියට පැමිණි මම  ඉගෙනීමට කිසිසේත් ආසා නොකෙළෙමි.මට ම හරියන මිතුරු කැළක් ද ඊට සමගාමීව මා වටා රොක් විය. 
               පාසලේදී වේවැල් පහරින් ,රට හුණු කැබැල්ලෙන් නිරන්තරයෙන් සන්ග්‍රහ ලැබූ මම පෙරළිකාර චරිතයක් වීමි. ඇතැම් ගුරුවරුන් මා අතහැර දැමූ අතර ඇතමුන්ගේ හිසරදයට හේතුවක් වූ මා තවදුරටත් ඔවුන්ගේ ඉළක්කයක්ම විය.ශිෂ්‍යත්වය සමත් එකෙකු හෝ නොමැති පන්තියේ ලමුන් අතරින් වාර විභාග වලදී විසිගණන් වැනියා වන් මට එකළ අරුමයක් නොවීය.
             අහුවුනු පොතක එවෙලේ උගන්වන දේ සටහන් කරගන්නා ,ගෙදරට දෙන පැවරුම් නොකරන ,ඇගයීම මඟ හරින ඒ අපත කොළුවා වූයේ මමයි.නිරන්තරයෙන් විත්තිකරුගේ චරිතය රඟපාන වේවල් පහරේ ගැනුම් කරුවාද මමයි.එකල බෙලිඅත්තේ කොල්ලන් හා රැඳී  රසතියාදු ගසන හාදයාද මමයි .මැර කොල්ලන් හිත මිතුරන් කරගත් මා ඇතැම් ළමුන් අතර නම් එක්තරා වීරයෙකි .යහළුවන් වෙනුවෙන් කළහැකි ඕනෑම කැපවීමකට සූදානම් සහෝදරත්වයෙන් බැඳුනු හිත මිතුරා වූයේද මමයි.
          
              එකළ මා පිළිබඳ  සැබෑ තතු මවුපියන්ට සන්නිවේදනය වීම වැළැක්වීමට මම උපරිමයෙන් ම කටයුතු කළෙමි. ඇතැම් අවස්ථාවලදී අර්බුධකාරී තත්වයන් ඇතිවුවද ඔවුන්ට මාව කවරදාක හෝ පොත පතෙහි සිරකාරයෙක් කිරීමට අවශ්‍ය වූයේ නැත. අතීත ගැමි ලමයෙකුට ලැබෙන උපරිම නිදහසෙහි මම ද හිමිකාරයෙකු වීමි. ඉන් මා ලැබූ ආධ්‍යාත්මික සුවයත්,සෞන්දර්යය ත් මුසු කර ඉදිරියේදි බ්ලොග් ලිපියක් ලිවීමට සිතේ.එහෙත් මට මේ වන තුරුත් කිසිදු ගැහැණු ලමයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් නම් තිබී නැත.
               
                   මට යම් යම් කුසලතාවයන් තිබුනද කිසිදා මම සින්හල භාශා/කථික ආදී කිසිඳු තරඟය කට පාසල් මට්ටමින් සහභාගී වී නැත.එසේම දින දෙක තුනකට වඩා මා දහම්පාසල් ගොස් නැත.නමුත් එසේ නොවූවා කියා මට සිදුවූ අවාසියක් නොමැති බැව් මෑතකදි අම්පාරේ පැවති නායකත්ව පුහුණුව තුලදී සනාථ විය.
      10 වසරේ පටන්ම ගෙදරට ගණිත ගුරුවරයකු ගෙන්වා මා හට ටියුෂන් ලබාදීම සිදුවිය.11 වසරේදී මවගේ බලවත් ඇවිටිල්ල නිසාම මම විද්‍යාව අමතර පන්තියකට ද ගියෙමි.මීට අමතරව සා.පෙළ සඳහා මා ගිය එකම ටියුෂන් පන්තිය යහළුවෙකුගේ ගෙදරට සර් කෙනෙකු පැමිණ කළ වාණිජ්‍ය පන්තියයි.
      බොහෝ දෙනෙකු ලෙහෙසියෙන්ම තරණය කරන සා.පෙළ කඩයිම මා හට නම් දැවැන්ත අභියෝගයක් විය.විභාගයට ඉතා ආසන්න කාලයේදි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරු කිරීමෙන් ලත් අත්දැකීම් ද සහිතව සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන්නෙමි. 
                                                                
ප්‍රථිඵල ලෙසින් ගණිතයට C සාමාර්ථයක් ද විද්‍යාවට B සාමාරථයක් ද සහිතව  මා සා.පෙළ සමත්ව තිබුණි.S සාමාර්ථයක් තිබුනේ ඉන්ග්‍රීසි වලට පමණි.අනෙක් විෂයන් සඳහා ද අච්චාරු ප්‍රථිඵලයක් ලැබී තිබුණි.
       කෙසේ වුවත්  මට නම් එම ප්‍රථිඵලය මහමෙරක් බඳු විය.මම ඉතා උද්‍යෝගයෙන් උසස් පෙළ සඳහා පියමැන්නෙමි.
විජයබා විදුහලේ පලමු උසස් පෙල කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මගේ උසස් පෙළ ජීවිතයද වෙනස්ම එකකි.ඒ  ගැනද කෙටි සටහනක් තැබීමට සිතේ.

මම ජීවිතයේ වැඩිපුරම ආදරය කල විෂය භෞතික විද්‍යාවයි.වෙල් දෙණි වල නට නටා ගත කල අත්දැකීම් වල ප්‍රායෝගික අරුත වටහා දෙන එතරම් සොඳුරු  විෂයක් තවත් නම් ඇත්ද?රසායන විද්‍යාවට ද මම මහත් සේ ඇලුම් කලෙමි. ජීව විද්‍යාව මට අප්‍රියතම විෂයක් වූ අතර එය ප්‍රායෝගිකව සිතීමත් කර්කශ දෙයක්ම විය.

මම නිදි වරා වෙහෙස වූයේ නම් නැත.අච්චු පොත්  ගෙන ඒවා ස්ව‍යo අධ්‍යනය කරමින් සිතිවිලි මෙහෙයවීම සිදු කළෙමි.උසස් පෙළ පළමු අවුරුද්ද පමණක් අප පාසල් ගිය අතර මුල් අවුරුද්ද තුල පැවති සෑම විහාගයකින්ම භෞතික විද්‍යාව සඳහා පාසලෙන්ම වැඩිම ලකුණු ලාභියා වූයේ මම යි.

මා අතින් සිදුවූ බරපතලම වැරැද්ද සාර්ථකත්වය නම් දේදුන්නේ අග්ගිස්සට පැමිණ ඇතැයි සිතමින් සියළු දේ තනිවම අධ්‍යනය කිරීමට සිතා උසස් පෙළ සිද්ධාන්ත පන්ති විෂයන් තුනෙහිම මුල් පාඩම් කිහිපයෙන් අනතුරුව නවත්වා දැමීමයි.

ඉන් පසු වැඩ ගොඩ ගැසුණු අතර මහා අච්චු පොත් ගොඩක් අතර අසරණ වූ මම පළමු වර 2009 විභාගයෙන් හමබන්තොට දිස්ත්‍රික්කයේ 220 වෙනියා වෙමින් දැඩි පසුබෑමකට ලක් වීමි.2009 ඒතිහාසික විභාගයක් වූ අතර මුලු දිවයිනෙන් ම වැඩිම කඩයිම් ලකුණු සලකා බැලූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.අනතුරුව මම ගෙදරද හැර දමා කොලඹ ගියෙමි.කොලඹ නැවතී රිවිෂන් පන්ති ගිය මුත් මාස  5කින් පමණ පසුව මට නැවත ගෙදර එන්නට උවමනා විය.

ඉන් පසු මම ගෙදර සිට කොළඹ පන්ති ගියෙමි.අවසන් මාස කීපයේදි ගුරුවරුන්ගේ රිද්මයට අනුනාද වෙමින් පන්ති වලදී ගත කලද ගෙදරදී එතරම් වෙහෙස නොවි මා බොහෝ විට සිදු කළේ සිදු කලේ නිකන් තිබෙන සිතුවිලි/සිත අදාල විෂයන් කෙරේ මෙහෙයවීමයි.

2010 මෙවර විභාගය සාර්ථකව නිම කළ මම දිස්ත්‍රික්කයේ 6 වෙනියා වූවෙමි.කොලඹ වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් තිබුනද මා තෝරා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි.උසස් පෙළ කාලය තුළද  අතුරු කතා ද රාශියක්ම විය . මේ ලිපිය දීර්ඝ වූවා වැඩිදැයි මට සිතේ.ඉතින් සීතල , සොඳුරු පරිසරයක දිගහැරෙන මගේ අනාගත සරසවි ජීවිතය ද හොඳ යුරක වෙනස්ම එකක් වනු දැකීම මගේ බලාපොරොත්තුවයි..

10 comments:

චතුමිතු said...

ඔය දගකාරකම
අස්සේ සැගවුණු
සොදුරු සිත්තම්
පොදියේ අපුරුව...
කියාගන්නට
නොමැත වදනක්
මෙහි ලියා යන්නට
රිසි වුවද ඔබ හට..
දිගටම ලියන්න
එපා මෙහි නවතින්න
එ සිතුවම් පෙළ රසවිදින්න
ළග ‍රැදෙමි හැමදාම..!
ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම් මල්ලි..:)

කිඩෝ said...

අඩේ ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරපන්කෝ....

Anonymous said...

දිගටම ලියන්න...ලියනවා එල ..නව කතාවක් වගේ..

පුලුවන් නම් ෆොන්ට් ටිකක් ලොකු කරන්න ...

දේව්දාස් said...

දේව්දාස් මුලින්ම හෙව්වේ වැරද්දක් කියල හිතන්නේ එපා... අකුරු ප්‍රමාණය ටිකක් ලොකු උනා නම් හොඳයි... ඉදිරියටත් ලියන්න... දේව්දාස් ගෙන් සුභ පැතුම්...!

දේව්දාස්

Hishan de Silva said...

මට නම් කොල්ලො කියන්න තියෙන්නෙ. ඒකත් නෑ මේකත් නැහැ අරකත් නැහැ කියල තමා. ලිපිය එල. කට්ටිය font size ගැන කියල තියෙන නිසා මම නම් කියන්නෙ 11pt යොදගන්න කියල.

සංකල්ප said...

මොනවා කලත් අන්තිමේදි විභාගත් ගොඩ දාගෙන නේ. එල එල.
ඔය කාලේ තමයි මල්ලි කරන්න පුලුවන් පිස්සු වැඩ ඔක්කොම කරන්න හිතෙන්නේ. ඒ කාලේ ඒවා නොකර පස්සේ දුක් වෙන්නේ මොකටද !!!

අර කිව්වත් වගේ අකුරු සයිස් එක 14වත් දාන්න. මම කියන්නේ ටෙම්ප්ලේට් එකෙන්ම. පෝස්ට් එකෙන් වෙනස් කරන්න එපා. එතකොට පෝස්ට් එකෙන් පෝස්ට් එකට අකුරු සයිස් එක වෙනස් කරන්න වෙනවා. ඕක එකපාරම ටෙම්ප්ලේට් එකෙන්ම වෙනස් කරලා දාන්න.

හංසි said...

මේ පෝස්ට් එකෙන්ම බ්ලොග් එක කියවන්න ආස හිතුනා. හොඳටම ඉගන ගන්න පුලුවන් අයට උනත් වරදින කාලයක් තියනවා. ඒක ඔයාගෙන් ඔප්පු වෙනවා.

සිතුමි ප්‍රියංගා said...

කතාව කියවගෙන යනකොට මට හැගුණා පුංචි කාලේ ආසාවෙන් කතන්දර පොතක් කියවගෙන යන්නාසේ .ඇත්තෙන්ම හොදට ලියලා තියෙනවා. එත් සමහර තැන් වල මම දැක්කා සමහර වචන වල අකුරුවල අඩුපාඩුවක් . ( උදා :- පුන්චි කියලා යොදා තිබුනත් එතන පුංචි යන වචනයේ අකුරු මේලෙස විය යුතුයි . පුන්චි කිවාම අම්මාගේ නංගි පුංචි යනු පොඩි ) සමාවෙන්න මගේ දැනිමේ හැටියට මම දැකපුදේ මම කිවේ . තවත් බොහොමයක් වචන වෙනස් විය යුතුයි කියලා මට හිතේනවා.කොහොම නමුත් කතාව මගේ හිත ගත්තා.හරිම ලස්සනයි . ඉදිරියටත් ලියන්න.මම කියවන්න බලන් ඉන්නවා.

රොෂාන් said...

හැමෝගෙම අදහස් වලට ස්තූතියි.. මාස ගණනක් බ්ලොග් එක වහලා දාලා තියලා අද තමයි හිතුනේ ආපහු ලියන්න ඕනි කියලා :)

Unknown said...

නවකතාවක් වගේ මචන්. Maxxa, cngradz !!

Post a Comment